දේශපාලනය

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු සඳහා දායකත්වය හිමිවෙයි (ඡායාරූප)

එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු සඳහා සහාය ලබාදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්‍යාලය, අද (10) දිනයේ නිකුත් කරන ලද නිවේදනයකින් මේ පිළිබඳව ප්‍රකාශ කරමින්, එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, වෙළෙඳ කටයුතු සඳහා ජාතික තනි කවුළු පද්ධතිය (Trade National Single Window System – TNSWS) ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ වෙළඳාම සඳහා පහසුකම් සලසන යටිතල පහසුකම් නවීකරණයට මුදල් අමාත්‍යාංශයට සහාය දීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

TNSWS පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් පසු, වෙළෙඳ කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු එක් රැස් කරගැනීම පහසු වේ. මෙහිදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, වියදම් අඩු කිරීම සහ ලැබිය හැකි ආදායම් වැඩි කිරීමක් පිළිබඳව ලාභ විය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.

USAID හි සහාය ඇතිව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන TNSWS ව්‍යාපෘති පාර්ශ්වකරුවන් 94 දෙනෙකු සඳහා වැඩමුළුවක් පසුගියදා පවත්වමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණා. මෙම අන්තර්ක්‍රියාකාරී වැඩමුළුව හරහා TNSWS ක්‍රියාත්මක වීමේ ආකාරය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව සහභාගීවූ පාර්ශ්වකරුවන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමේ පියවර ගැනීමටත් කටයුතු කරන ලදී.

TNSWS ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව සහ තිරසාරත්වය ද දිරිමත් කිරීමේදී කටයුතු කෙරුණා. “ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ සහ දීර්ඝ කාලීන හවුල්කරුවකු වශයෙන්, එක්සත් ජනපදය ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්නට සහ අපනයන වර්ධනයට සහාය දෙනවා. වෙළෙඳ කටයුතුවල විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි බව වැඩි දියුණු කරන TNSWS වැනි මුලපිරීම සඳහා අපි කැප වී සිටිනවා,” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා අවධාරණය කළා.

“පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට වෙළෙඳ කටයුතු සඳහා ජාතික තනි කවුළු පද්ධතියක් ඇතිකිරීම ඉතාමත් වැදගත් වේ. මෙම TNSWS හරහා අපේ වෙළෙඳ තරගකාරීත්වය වැඩිදියුණු වී අපනයන වර්ධනයට සහාය දීමෙන් තිරසාර ආර්ථික ස්ථායී බවක් සඳහා මග පාදාවී,” යනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සඳහන් කළා.

ශ්‍රී ලංකාව 2017 දී අත්සන් කරන ලද ලෝක වෙළඳ සංවිධානයේ වෙළෙඳ පහසුකම් ගිවිසුමේ කොටසක් ලෙස, TNSWS ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන අතර, TNSWS ක්‍රියාත්මක කිරීම සඳහා 2022 දී කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

Related Articles

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button